Sunday, April 16, 2017

නාගරික ඝන අපද්‍රව්‍ය කළමණාකරණය

නාගරික ඝන අපද්‍රව්‍ය කළමණාකරණය 

නාගරික ඝන අපද්‍රව්‍ය යනු සෑම  ජන සමාජයකටම අභියෝගාත්මක ප්‍රශ්නයකි.
එය නිසි පරිදි කළමණාකරණය නොකළ හොත් ඍජු හා වක්‍ර ආකාර වලින් මිනිස් ජිවිත බිලි ගැනීම නැවැත්විය නොහැක.
ඝන අපද්‍රව්‍ය කළමණාකරණය සඳහා විවිධ දියුණු ක්‍රම ඇතත් ඒවා අපද්‍රව්‍ය සංයුතිය හා රටෙහි දේශගුණ තත්වය මත අනුවර්තනය කරගෙන ක්‍රියාත්මක කල යුතු වේ. විසඳුම් ගැන කථා  කිරීමට ප්‍රශ්නය හරි හැටි හඳුනා ගැනීම අගනේය.

සැබෑ ප්‍රශ්නය 

කසළ  යනු වටිනා සම්පතකි. එහි ඇති වරද නම් ඒවා,

  • වැරදි ආකාරයෙන් (Wrong  form ) 
  • වැරදි වේලාවක  (Wrong  time ) 
  • වැරදි තැනක (Wrong  place ) තිබීමයි 

උදා: ඔබ බත් කන මුත් ඔබ වරක් බත් කා සිටියදී ලැබෙන ආහාරයක් නිකරුනේ කසළ  බවට පත් වේ. (Wrong  time & Wrong  place)
එබැවින් කසල කළමනාකරණයේදී කසළ  වල ස්වභාවය වෙනස් කිරීම, භාවිත වන අවස්ථාව වෙනස් කිරීම, හා භාවිතාකරන ස්ථානය වෙනස්කිරීම සිදු වේ . (මෙය කියන තරම් සරල නැත)
නාගරික කසළ  වල ඇති ප්‍රධානම ප්‍රශ්නය නම් එය විවිධ ද්‍රව්‍ය වල සම්මිශ්‍රණයක් වීමයි.
ලොව පිළිගත් ක්‍රමවේදයන්ට අනුව කසළ  කළමනාකරණය පහත ක්‍රම මගින් සිදුවේ.

  1. කසල ඇති කරණ  ද්‍රව්‍ය භාවිත නොකිරීම (Refuse )
  2. කසළ  නිපදවීම අඩු කිරීම (Reduce)
  3. නැවත භාවිතය (Re -use )
  4. ප්‍රති චක්‍රීකරණය (Re-cycle )
  5. ශක්තිය උකහා ගැනීම (Energy  recovery )
  6. පාලිත තත්ත්ව යටතේ ගොඩ කිරීම (Engineering land  fill )
  7. පාලනයකින් තොර ගොඩ කිරීම් (Un -controlled  dumping )

මෙහි 01 හා 02 කසළ  නිපදවීම පාලනය කෙරෙහි අවධානය  යොමු කරන අතර 03 සිට 05 දක්වා ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට කසළ  වර්ගීකරණය (ප්ලාස්ටික්, පොලිතින්, කාඩ්බෝඩ් etc ලෙස වෙන් කිරීම ) අත්‍යවශ්‍ය වේ. අපේ රටේ නාගරික අපද්‍රව්‍ය වර්ගීකරණය නිසි පරිදි සිදු නොවේ. එමෙන්ම අප විසින් දැනට තෝරාගෙන ඇති විසඳුම වන්නේ අවසාන පියවරයි. එනම් පාලනයකින් තොරව ඉඩම් වල ගොඩ ගැසීමයි.
එසේ, කල හැකි නරකම විසඳුම අපේ නාගරික කසළ  වලට ලබා දීමට හේතුවක් ඇත. එනම් මේ සමබන්ධ තීරණ ගන්නා නගර සභා, ප්‍රාදේශීය සභා, පළාත් සභා, පාරිලිමේන්තු වල මේ ගැන තාක්ෂණික අවබෝධයක් සහිත පිරිස් නොවීමයි. අනුවණයන් අදාළ තීරණ ගන්නා ස්ථාන වලට යැවූ ඔබද මමද එයට වගකිව යුතුය.

කසළ  යනු මග හැරිය නොහැකි ගැටළුවකි. ඔවුන් කරනුයේ දිය හැකි සරලම විසඳුම ලබා දී කෙසේ හෝ ජාම බේරා ගැනීමයි. ඒවා මගින් වන ලෙඩ රෝග පැතිරීම්, භූගත ජල දුෂණය, නාය  යාම වැනි දෑ  ගැන ඔවුනට තැකීමක් නැත. ඒ අතරම මෙසේ කසල එකතු කර ප්‍රවාහනය හා ඒවා කඳු ලෙස ගොඩ ගැසීම යහමින් මුදල් ලැබෙන ව්‍යාපාරයකි. මැති ඇමති හෙන්චයියන්ට මෙය ඉල්ලමකි. තවද කසළ  ගොඩ ගසන ස්ථාන (ව්‍යවහාරයේ එන ලෙස කුණු වළවල්)  වල යම් යම් ව්‍යාපාරික කටයුතුද සිදු වේ. ප්‍රධානම එක නම් කාඩ්බෝඩ්, පොලිතින්, ප්ලාස්ටික්, යකඩ, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය වැනි දෑ  එකතු කර විකිණීමයි. මෙය බොහෝවිට කුණු වළ අවට සිටින පදිංචි කරුවන් කරන අතර එදිනෙදා එකතු කරන දෑ කුණු වලේදීම ලොකු ව්‍යාපාරිකයෙකුට විකුණා ඔවුන් සොච්චමක් උපයා ගනිති. ව්‍යාපාරිකයා විශාල මුදලක් මේ මගින් උපයයි. බොහෝ විට මෙය පාතාලයටද සම්බන්ධ කටයුත්තක් වන අතර ඔබට මට රිසි පරිදි කුණු වලකට බැස  මේවා එකතු කල නොහැක. කෙසේ සිදු වුවද මෙය හොඳ වැඩක් බව කිව යුතුය.
සෑම  කුණු වලකටම විරුද්ධ පිරිසක් මෙන්ම කැමති පිරිසක් ද සිටිති. කැමති පිරිස නම් ඒ මගින් යැපෙන පිරිසයි. විරුද්ධ පිරිස යනු ඒ මගින් පිඩාවට පමණක් පත් වන පිරිසයි. කුණු වලක් යනු චන්ද ඉල්ලමක්ද වේ. හොඳම උදාහරණය මීතොටමුල්ලයි.

විසඳුම 

නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ලොව පුරා (පෙර අපර දෙදිගම ඇතුලත්ව ) බොහෝ රටවල් සාර්ථකව කරන අතර ඒ සඳහා තමන්ගේ අපද්‍රව්‍ය සංයුතිය හා දේශගුණ තත්වයන් මත අනුවර්තනය කර ගන්නා ලද ක්‍රමවේදයන් භාවිතා වේ.(මම මේ බොහෝ වැදගත් රට වල  වල කසළ  කළමනාකරණය කරන අයුරු පරික්ෂා කර ඇත්තෙමි) මින් සාර්ථක හා ප්‍රයෝගිකව අප රටට ගැලපෙන ක්‍රමවේදයක් ලෙස ඉහත සඳහන් කරන ලද 03 සිට 06 දක්වා වන පියවර වල සම්  මිශ්‍රණයක් දැක්විය හැක. මෙය වඩාත් පැහැදිලි කිරීම සඳහා පහත වන අප රටට අදාල සාමාන්‍ය නාගරික ඝන අපද්‍රව්‍ය සංයුතිය දක්වමි. (මුලාශ්‍රය - පුද්ගලිකව කොළඹ හා අවට කුණු කඳුවල කරන ලද පර්යේෂණ)




අපේ නාගරික ඝන අපද්‍රව්‍ය වලින් 10% ට අසන්න ප්‍රමාණයක් (දහනය නොවන ) ලෝහ, විදුරු, ගල් සහ වැලි, ගොඩනැගිලි අපද්‍රව්‍ය වැනි දෑ වන අතර මින් තරමක් ප්‍රතිචක්‍රී කරණය කල හැකි මුත් යම් තරමකින් හෝ පාලිත ගොඩ කිරීමක් ද ක්‍රියාත්මක කල යුතුම වේ.
අනෙකුත් කොටස දහනය වන (Burnable)  හා ප්‍රයෝජනයට ගත හැකි ප්ලාස්ටික්, පොලිතින්, කාඩ්බෝඩ්, ජෙවිය අපද්‍රව්‍ය වැනි දෑ  වලින් යුතු කොටසයි. මේවා යලි භාවිතා කිරීමටද, ප්‍රතිචක්‍රීකරණය කිරීමටද හැකිය. අප රටෙහි ඇති ඝන අපද්‍රව්‍ය වලින් වැඩි ප්‍රතිශතයක් (65-70%) ජෙවිය අපද්‍රව්‍ය වන නිසා වඩාත් පහසු ප්‍රතිකර්මය වන්නේ කොම්පෝස්ට් නිෂ්පාදනයයි. නමුත් මෙතරම් කොම්පෝස්ට් කන්දකට කරන්නේ කුමක්ද යන්න නිසි අවබෝධයක් තිබිය යුතුය. වත්මන කොම්පෝස්ට් 1kg  විකුණුම් මිල රුපියල් 8 වන අතර (ex-gate) නිෂ්පාදනය අධික වීම මත මෙය තවත් අඩු වී, නිෂ්පාදනය තවදුරටත් ලාභ දායි  නොවනු ඇත.

මෙයට විකල්පයක් ලෙස ඉතිරි මුළු කොටසම (Burnable) සුර්ය බලයෙන් යම් තාක් දුරකට වියලා පසුව දාහක ආධාරයෙන් පුර්ණ දහනයකට ලක් කොට විදුලිය නිෂ්පාදනයද කල හැක. වියලීමට අවශ්‍ය වන්නේ මෙමෙ අපද්‍රව්‍ය කොටස තුල අධික ලෙස ජලය ඇති නිසාය (55-75%)
ඉහත කුමන විසඳුම ලබා දුන්නද දිනකට කසළ  ටොන් දහස් ගණනකට (කොළඹ පමණක් දිනකට ටොන් දහස ඉක්මවයි ) විසඳුම ලබා දීමට වසර පුරා සුර්ය තාපය ලැබෙන, හෙක්ටයාර් ගණනක  ඉඩ ප්‍රමාණයක් සහිත, ජනාවාස වලින් දුරස් වූ ස්ථානයක් අවශ්‍යය. කසළ  අදාළ ස්ථානයට සුරක්ෂිතව ප්‍රවාහනය කිරීමේ ක්‍රමවේදයක් අවශ්‍යය.
යම් හෙයකින් කොම්පෝස්ට් නිපදවිමකට යන්නේ නම් අපේ කසළ  සංයුතිය මත කොම්පෝස්ට් ගොඩ තුල වායු සංසරණය වැඩි කිරීමට යම් යම් ද්‍රව්‍ය (bulking  agent ) එකතු කිරීමටද, ප්‍රතිචක්‍රීකරණය අඩු කිරීමට හා කොම්පෝස්ට් නිෂ්පාදනයෙන් පසු වෙන්කර ගන්නා නොදිරන ද්‍රව්‍ය වෙනත් ආකාරයේ ශක්තිය උකහා ගැනීමේ පියවරකට (උදා- සහ සැකසුම ) යොමු කිරීමටද සිදු වනු ඇත.
කෙසේ නමුත් මෙය කල හැක්කකි. අවශ්‍ය වන්නේ ආරම්භ කිරීමයි. 


අභියෝග 

ඝන අපද්‍රව්‍ය කළමණාකරණයට අභියෝග රාශියකි. ප්‍රධානම අභියෝගය නම් පාලකයන්ගේ අනුවණ  කම හා අදුරදර්ශී භාවයයි. එය මුලින්ම නැතිකොට නිවැරදි, දුරදර්ශි නොසැලෙන නායකත්වයක් තිබිය යුතුය.
මන්ද  කසළ  වලට නිසි විසඳුමක් නැති මුත් යමක් කරන්නට සුදානම් වූ විට දහසකුත් එකක් උත්තර ඉදිරිපත් කරමින් පාලකයන් වල්මත් කරන ආචාර්ය මහාචාර්ය වරු රොත්තක් ද ලංකාවේ සිටිති. එමෙන්ම, බොහෝ කුණු කඳු වලට අයිති කාරයන් සිටිති. ඔබ යමක් කරන්නට ඉදිරිපත්   වුව හොත් "ඒ කුණු කන්දට අහවල් සමාගමත් එක්ක ගිවිසුම් ගහල තියෙන්නේ", "අර කුණු කන්ද අහවල් රටට දීලා තියෙන්නේ" වැනි කථා  රාශියක් ඔබට ඇසෙනු ඇත.
මුලින්ම කල යුත්තේ අදාළ පල රහිත ගිවිසුම් වලින් ඉවත් වීම, අනවශ්‍ය කේවට්ටයන් උපදේශක තනතුරු වලින් ඉවත් කිරීම හා කසළ  පාලනය  එක්  මධ්‍ය ගත ආයතනයකට ලබා දීමයි. මෙය රජය විසින් කල යුතු ක්‍රියාවකි.
දෙවනුව අවබෝධ කර ගත යුතු කරුණ නම් කසළ කළමනාකරණයට මිලක් වැය  වන බවයි. එය අදාළ කසළ  නිෂ්පාදකයාගේ වගකීමකි. (උදා- ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදකයා එය කසළ  බඳුනක් බවට පත් වීමට වග කිව යුතුය. එය නිසි පරිදි බැහැර ලීමේ මිල ඔහු ගෙවිය යුතුය. මෙය "generator  pay " ලෙස වෙනත් රටවල හඳුන්වන අතර බොහෝ නිෂ්පාදකයන් මෙලෙස යම් බද්දක් රජයට කසළ  කළමනාකරණය වෙනුවෙන් ගෙවයි. ඒ මගින් ඔවුන් කසළ  ඇති වීමට තුඩු දෙන භාණ්ඩ නිෂ්පාදනය අඩු කිරීමටද පෙලබෙති. මෙය අප රට තුලද වහාම ඇති කල යුතුය. එසේ නැතිව පොදු ජනතා බදු මුදල් මගින් කසළ  කළමනාකරණය මුළුමනින්ම කිරීම යුතු නැත. Generator  pay  යනු කසළ  අවම කිරීමට ඇති ප්‍රත්‍යක්ෂ උපක්‍රමයකි.  මෙසේ කල විට පොලිතින් කවර ඉබේම නැති වී යනු ඇත. ( විශාල මුදලක් ගෙවා පොලිතින් කවර මිලදී ගැනීමට කිසිවෙකුත් කැමති නොවන නිසා ) මෙයද රජය මගින් කල යුතු ක්‍රියාවකි

තෙවනුව කසල වර්ගීකරණය කොට එකතු කිරීම හා හැසිරවීම ඉතා අගනේය. කසල නිෂ්පාදනය වන තැනදී වෙන් කොට, පසුව එකතු කරන විට සියල්ල එකම වාහනේ දමාගෙන ගොස් කන්දක් ගැසීම වෙනුවට අත්‍යන්තයෙන්ම වර්ගීකරණයට ගරු කල යුතුය. (මෙය කසළ  කළමනාකරණ වියදම අවම කිරීමට පිටුවහලකි) ජනතාව වර්ගීකරණයට යොමු කිරීම අභියෝගයකි. වගකීම රජය සතුව පවතී

සිවු වනුව ලබා දෙන විසඳුමේ තිරසාර භාවය (sustainability) සලකා බලා නිවැරදි ක්‍රියාවලියක් තෝරාගෙන නිසි පරිදි ක්‍රියාත්මක කල යුතුය. කොම්පෝස්ට් නිෂ්පාදනය වැන්නකට මහා පරිමාණයෙන් යොමු වන්නේ නම් ඒවා භාවිතා කරන්නේ කුමන ලෙසටද යන්නද සැලකිල්ලට ගත යුතුය. එසේ නොකළ හොත් වනුයේ ටොන් දහස් ගණනක කොම්පෝස්ට් කන්දක් තවත් පරිසර ප්‍රශ්නයක් නිර්මාණය කිරීමයි. වගකීම රජය සතුව පවතී
තවද කසළ  කළමනාකරණය සම්බන්ධන්යෙන් පවත්නා නීති බලාත්මක කිරීමද ඉතාම අවශ්‍යය. උදාහරණයක් ලෙස අන්තරායකර අපද්‍රව්‍ය (Hazardous  waste ) නිසි ක්‍රමවේදයකට අනුව පමණක් බැහැර කල යුතු බවට නීති ඇත. ලංකාව තුල එසේ බැහැර කල යුතු ද්‍රව්‍ය මධ්‍යම පරිසර අධිකාරිය (CEA ) මගින් ගැසට් කර ඇත (Schedule  VIII ) ඒවා බැහැරලන ආකාරය සම්බන්ධයෙන් උපදෙස් දී ඇත ( Link of schedule waste management guideline published by CEA  ) නමුත් මෙම නීති නිසි පරිදි ක්‍රියාවට නැංවී නැත. එම නිසා බොහෝ අය  (විශේෂයෙන් ව්‍යාපාරික ආයතන ) ඉතා පහසුවෙන් අන්තරායකර අපද්‍රව්‍ය නාගරික කුණු ගොඩටම විසි කර දමා සිය වගකීමෙන් මිදී අත  පිහදා ගනිති. මේ මගින් අත්  වන දරුණුම විපාකය නම් අන්තරායකර අපද්‍රව්‍ය සමග මිශ්‍ර වූ අනෙකුත් කසළ ද නිසි පරිදි බැහැර කල නොහැකි වීමයි. උදාහරණයක් ලෙස වාහන සෝදන ස්ථානයකින් ඉවට දමන තෙල් මන්ඩි  හා මිශ්‍ර වූ කසළ  මගින් කොම්පෝස්ට් තැනුවද එය පොහොර ලෙස යොදා ගැනීම අසීරුය. එබැවින් අන්තරායකර අපද්‍රව්‍ය බැහැරලීම නිසි ක්‍රමවේදයන්ට අනුව කිරීම අනිවාර්ය වේ. මේ සඳහා පවත්නා නීති බලාත්මක කල යුතු අතර ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන රජය මගින් සැකසිය යුතුය. මට හැඟෙන ආකාරයට මෙය බලාත්මක කිරීමට යොදා ගත හැකි හොඳම ආයතනය පොලීසියයි. ඔවුනට නිසි දැනුමක් හා පුහුණුවක් ලබා දීම පමණක් සෑහේ.

වසාන වශයෙන් හා වඩා වැදගම  දෙය ලෙස, කසළ  කලමනකරනේයේ වැදගත්කම, කරමවේද යනාදිය කුඩා දරුවන්ට පාසල් කාලයේදීම ඉතා ගැඹුරින් ඉගැන්විය යුතුය. මෙයද රජය සතු වගකීමකි.