Sunday, April 16, 2017

නාගරික ඝන අපද්‍රව්‍ය කළමණාකරණය

නාගරික ඝන අපද්‍රව්‍ය කළමණාකරණය 

නාගරික ඝන අපද්‍රව්‍ය යනු සෑම  ජන සමාජයකටම අභියෝගාත්මක ප්‍රශ්නයකි.
එය නිසි පරිදි කළමණාකරණය නොකළ හොත් ඍජු හා වක්‍ර ආකාර වලින් මිනිස් ජිවිත බිලි ගැනීම නැවැත්විය නොහැක.
ඝන අපද්‍රව්‍ය කළමණාකරණය සඳහා විවිධ දියුණු ක්‍රම ඇතත් ඒවා අපද්‍රව්‍ය සංයුතිය හා රටෙහි දේශගුණ තත්වය මත අනුවර්තනය කරගෙන ක්‍රියාත්මක කල යුතු වේ. විසඳුම් ගැන කථා  කිරීමට ප්‍රශ්නය හරි හැටි හඳුනා ගැනීම අගනේය.

සැබෑ ප්‍රශ්නය 

කසළ  යනු වටිනා සම්පතකි. එහි ඇති වරද නම් ඒවා,

  • වැරදි ආකාරයෙන් (Wrong  form ) 
  • වැරදි වේලාවක  (Wrong  time ) 
  • වැරදි තැනක (Wrong  place ) තිබීමයි 

උදා: ඔබ බත් කන මුත් ඔබ වරක් බත් කා සිටියදී ලැබෙන ආහාරයක් නිකරුනේ කසළ  බවට පත් වේ. (Wrong  time & Wrong  place)
එබැවින් කසල කළමනාකරණයේදී කසළ  වල ස්වභාවය වෙනස් කිරීම, භාවිත වන අවස්ථාව වෙනස් කිරීම, හා භාවිතාකරන ස්ථානය වෙනස්කිරීම සිදු වේ . (මෙය කියන තරම් සරල නැත)
නාගරික කසළ  වල ඇති ප්‍රධානම ප්‍රශ්නය නම් එය විවිධ ද්‍රව්‍ය වල සම්මිශ්‍රණයක් වීමයි.
ලොව පිළිගත් ක්‍රමවේදයන්ට අනුව කසළ  කළමනාකරණය පහත ක්‍රම මගින් සිදුවේ.

  1. කසල ඇති කරණ  ද්‍රව්‍ය භාවිත නොකිරීම (Refuse )
  2. කසළ  නිපදවීම අඩු කිරීම (Reduce)
  3. නැවත භාවිතය (Re -use )
  4. ප්‍රති චක්‍රීකරණය (Re-cycle )
  5. ශක්තිය උකහා ගැනීම (Energy  recovery )
  6. පාලිත තත්ත්ව යටතේ ගොඩ කිරීම (Engineering land  fill )
  7. පාලනයකින් තොර ගොඩ කිරීම් (Un -controlled  dumping )

මෙහි 01 හා 02 කසළ  නිපදවීම පාලනය කෙරෙහි අවධානය  යොමු කරන අතර 03 සිට 05 දක්වා ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට කසළ  වර්ගීකරණය (ප්ලාස්ටික්, පොලිතින්, කාඩ්බෝඩ් etc ලෙස වෙන් කිරීම ) අත්‍යවශ්‍ය වේ. අපේ රටේ නාගරික අපද්‍රව්‍ය වර්ගීකරණය නිසි පරිදි සිදු නොවේ. එමෙන්ම අප විසින් දැනට තෝරාගෙන ඇති විසඳුම වන්නේ අවසාන පියවරයි. එනම් පාලනයකින් තොරව ඉඩම් වල ගොඩ ගැසීමයි.
එසේ, කල හැකි නරකම විසඳුම අපේ නාගරික කසළ  වලට ලබා දීමට හේතුවක් ඇත. එනම් මේ සමබන්ධ තීරණ ගන්නා නගර සභා, ප්‍රාදේශීය සභා, පළාත් සභා, පාරිලිමේන්තු වල මේ ගැන තාක්ෂණික අවබෝධයක් සහිත පිරිස් නොවීමයි. අනුවණයන් අදාළ තීරණ ගන්නා ස්ථාන වලට යැවූ ඔබද මමද එයට වගකිව යුතුය.

කසළ  යනු මග හැරිය නොහැකි ගැටළුවකි. ඔවුන් කරනුයේ දිය හැකි සරලම විසඳුම ලබා දී කෙසේ හෝ ජාම බේරා ගැනීමයි. ඒවා මගින් වන ලෙඩ රෝග පැතිරීම්, භූගත ජල දුෂණය, නාය  යාම වැනි දෑ  ගැන ඔවුනට තැකීමක් නැත. ඒ අතරම මෙසේ කසල එකතු කර ප්‍රවාහනය හා ඒවා කඳු ලෙස ගොඩ ගැසීම යහමින් මුදල් ලැබෙන ව්‍යාපාරයකි. මැති ඇමති හෙන්චයියන්ට මෙය ඉල්ලමකි. තවද කසළ  ගොඩ ගසන ස්ථාන (ව්‍යවහාරයේ එන ලෙස කුණු වළවල්)  වල යම් යම් ව්‍යාපාරික කටයුතුද සිදු වේ. ප්‍රධානම එක නම් කාඩ්බෝඩ්, පොලිතින්, ප්ලාස්ටික්, යකඩ, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය වැනි දෑ  එකතු කර විකිණීමයි. මෙය බොහෝවිට කුණු වළ අවට සිටින පදිංචි කරුවන් කරන අතර එදිනෙදා එකතු කරන දෑ කුණු වලේදීම ලොකු ව්‍යාපාරිකයෙකුට විකුණා ඔවුන් සොච්චමක් උපයා ගනිති. ව්‍යාපාරිකයා විශාල මුදලක් මේ මගින් උපයයි. බොහෝ විට මෙය පාතාලයටද සම්බන්ධ කටයුත්තක් වන අතර ඔබට මට රිසි පරිදි කුණු වලකට බැස  මේවා එකතු කල නොහැක. කෙසේ සිදු වුවද මෙය හොඳ වැඩක් බව කිව යුතුය.
සෑම  කුණු වලකටම විරුද්ධ පිරිසක් මෙන්ම කැමති පිරිසක් ද සිටිති. කැමති පිරිස නම් ඒ මගින් යැපෙන පිරිසයි. විරුද්ධ පිරිස යනු ඒ මගින් පිඩාවට පමණක් පත් වන පිරිසයි. කුණු වලක් යනු චන්ද ඉල්ලමක්ද වේ. හොඳම උදාහරණය මීතොටමුල්ලයි.

විසඳුම 

නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ලොව පුරා (පෙර අපර දෙදිගම ඇතුලත්ව ) බොහෝ රටවල් සාර්ථකව කරන අතර ඒ සඳහා තමන්ගේ අපද්‍රව්‍ය සංයුතිය හා දේශගුණ තත්වයන් මත අනුවර්තනය කර ගන්නා ලද ක්‍රමවේදයන් භාවිතා වේ.(මම මේ බොහෝ වැදගත් රට වල  වල කසළ  කළමනාකරණය කරන අයුරු පරික්ෂා කර ඇත්තෙමි) මින් සාර්ථක හා ප්‍රයෝගිකව අප රටට ගැලපෙන ක්‍රමවේදයක් ලෙස ඉහත සඳහන් කරන ලද 03 සිට 06 දක්වා වන පියවර වල සම්  මිශ්‍රණයක් දැක්විය හැක. මෙය වඩාත් පැහැදිලි කිරීම සඳහා පහත වන අප රටට අදාල සාමාන්‍ය නාගරික ඝන අපද්‍රව්‍ය සංයුතිය දක්වමි. (මුලාශ්‍රය - පුද්ගලිකව කොළඹ හා අවට කුණු කඳුවල කරන ලද පර්යේෂණ)




අපේ නාගරික ඝන අපද්‍රව්‍ය වලින් 10% ට අසන්න ප්‍රමාණයක් (දහනය නොවන ) ලෝහ, විදුරු, ගල් සහ වැලි, ගොඩනැගිලි අපද්‍රව්‍ය වැනි දෑ වන අතර මින් තරමක් ප්‍රතිචක්‍රී කරණය කල හැකි මුත් යම් තරමකින් හෝ පාලිත ගොඩ කිරීමක් ද ක්‍රියාත්මක කල යුතුම වේ.
අනෙකුත් කොටස දහනය වන (Burnable)  හා ප්‍රයෝජනයට ගත හැකි ප්ලාස්ටික්, පොලිතින්, කාඩ්බෝඩ්, ජෙවිය අපද්‍රව්‍ය වැනි දෑ  වලින් යුතු කොටසයි. මේවා යලි භාවිතා කිරීමටද, ප්‍රතිචක්‍රීකරණය කිරීමටද හැකිය. අප රටෙහි ඇති ඝන අපද්‍රව්‍ය වලින් වැඩි ප්‍රතිශතයක් (65-70%) ජෙවිය අපද්‍රව්‍ය වන නිසා වඩාත් පහසු ප්‍රතිකර්මය වන්නේ කොම්පෝස්ට් නිෂ්පාදනයයි. නමුත් මෙතරම් කොම්පෝස්ට් කන්දකට කරන්නේ කුමක්ද යන්න නිසි අවබෝධයක් තිබිය යුතුය. වත්මන කොම්පෝස්ට් 1kg  විකුණුම් මිල රුපියල් 8 වන අතර (ex-gate) නිෂ්පාදනය අධික වීම මත මෙය තවත් අඩු වී, නිෂ්පාදනය තවදුරටත් ලාභ දායි  නොවනු ඇත.

මෙයට විකල්පයක් ලෙස ඉතිරි මුළු කොටසම (Burnable) සුර්ය බලයෙන් යම් තාක් දුරකට වියලා පසුව දාහක ආධාරයෙන් පුර්ණ දහනයකට ලක් කොට විදුලිය නිෂ්පාදනයද කල හැක. වියලීමට අවශ්‍ය වන්නේ මෙමෙ අපද්‍රව්‍ය කොටස තුල අධික ලෙස ජලය ඇති නිසාය (55-75%)
ඉහත කුමන විසඳුම ලබා දුන්නද දිනකට කසළ  ටොන් දහස් ගණනකට (කොළඹ පමණක් දිනකට ටොන් දහස ඉක්මවයි ) විසඳුම ලබා දීමට වසර පුරා සුර්ය තාපය ලැබෙන, හෙක්ටයාර් ගණනක  ඉඩ ප්‍රමාණයක් සහිත, ජනාවාස වලින් දුරස් වූ ස්ථානයක් අවශ්‍යය. කසළ  අදාළ ස්ථානයට සුරක්ෂිතව ප්‍රවාහනය කිරීමේ ක්‍රමවේදයක් අවශ්‍යය.
යම් හෙයකින් කොම්පෝස්ට් නිපදවිමකට යන්නේ නම් අපේ කසළ  සංයුතිය මත කොම්පෝස්ට් ගොඩ තුල වායු සංසරණය වැඩි කිරීමට යම් යම් ද්‍රව්‍ය (bulking  agent ) එකතු කිරීමටද, ප්‍රතිචක්‍රීකරණය අඩු කිරීමට හා කොම්පෝස්ට් නිෂ්පාදනයෙන් පසු වෙන්කර ගන්නා නොදිරන ද්‍රව්‍ය වෙනත් ආකාරයේ ශක්තිය උකහා ගැනීමේ පියවරකට (උදා- සහ සැකසුම ) යොමු කිරීමටද සිදු වනු ඇත.
කෙසේ නමුත් මෙය කල හැක්කකි. අවශ්‍ය වන්නේ ආරම්භ කිරීමයි. 


අභියෝග 

ඝන අපද්‍රව්‍ය කළමණාකරණයට අභියෝග රාශියකි. ප්‍රධානම අභියෝගය නම් පාලකයන්ගේ අනුවණ  කම හා අදුරදර්ශී භාවයයි. එය මුලින්ම නැතිකොට නිවැරදි, දුරදර්ශි නොසැලෙන නායකත්වයක් තිබිය යුතුය.
මන්ද  කසළ  වලට නිසි විසඳුමක් නැති මුත් යමක් කරන්නට සුදානම් වූ විට දහසකුත් එකක් උත්තර ඉදිරිපත් කරමින් පාලකයන් වල්මත් කරන ආචාර්ය මහාචාර්ය වරු රොත්තක් ද ලංකාවේ සිටිති. එමෙන්ම, බොහෝ කුණු කඳු වලට අයිති කාරයන් සිටිති. ඔබ යමක් කරන්නට ඉදිරිපත්   වුව හොත් "ඒ කුණු කන්දට අහවල් සමාගමත් එක්ක ගිවිසුම් ගහල තියෙන්නේ", "අර කුණු කන්ද අහවල් රටට දීලා තියෙන්නේ" වැනි කථා  රාශියක් ඔබට ඇසෙනු ඇත.
මුලින්ම කල යුත්තේ අදාළ පල රහිත ගිවිසුම් වලින් ඉවත් වීම, අනවශ්‍ය කේවට්ටයන් උපදේශක තනතුරු වලින් ඉවත් කිරීම හා කසළ  පාලනය  එක්  මධ්‍ය ගත ආයතනයකට ලබා දීමයි. මෙය රජය විසින් කල යුතු ක්‍රියාවකි.
දෙවනුව අවබෝධ කර ගත යුතු කරුණ නම් කසළ කළමනාකරණයට මිලක් වැය  වන බවයි. එය අදාළ කසළ  නිෂ්පාදකයාගේ වගකීමකි. (උදා- ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදකයා එය කසළ  බඳුනක් බවට පත් වීමට වග කිව යුතුය. එය නිසි පරිදි බැහැර ලීමේ මිල ඔහු ගෙවිය යුතුය. මෙය "generator  pay " ලෙස වෙනත් රටවල හඳුන්වන අතර බොහෝ නිෂ්පාදකයන් මෙලෙස යම් බද්දක් රජයට කසළ  කළමනාකරණය වෙනුවෙන් ගෙවයි. ඒ මගින් ඔවුන් කසළ  ඇති වීමට තුඩු දෙන භාණ්ඩ නිෂ්පාදනය අඩු කිරීමටද පෙලබෙති. මෙය අප රට තුලද වහාම ඇති කල යුතුය. එසේ නැතිව පොදු ජනතා බදු මුදල් මගින් කසළ  කළමනාකරණය මුළුමනින්ම කිරීම යුතු නැත. Generator  pay  යනු කසළ  අවම කිරීමට ඇති ප්‍රත්‍යක්ෂ උපක්‍රමයකි.  මෙසේ කල විට පොලිතින් කවර ඉබේම නැති වී යනු ඇත. ( විශාල මුදලක් ගෙවා පොලිතින් කවර මිලදී ගැනීමට කිසිවෙකුත් කැමති නොවන නිසා ) මෙයද රජය මගින් කල යුතු ක්‍රියාවකි

තෙවනුව කසල වර්ගීකරණය කොට එකතු කිරීම හා හැසිරවීම ඉතා අගනේය. කසල නිෂ්පාදනය වන තැනදී වෙන් කොට, පසුව එකතු කරන විට සියල්ල එකම වාහනේ දමාගෙන ගොස් කන්දක් ගැසීම වෙනුවට අත්‍යන්තයෙන්ම වර්ගීකරණයට ගරු කල යුතුය. (මෙය කසළ  කළමනාකරණ වියදම අවම කිරීමට පිටුවහලකි) ජනතාව වර්ගීකරණයට යොමු කිරීම අභියෝගයකි. වගකීම රජය සතුව පවතී

සිවු වනුව ලබා දෙන විසඳුමේ තිරසාර භාවය (sustainability) සලකා බලා නිවැරදි ක්‍රියාවලියක් තෝරාගෙන නිසි පරිදි ක්‍රියාත්මක කල යුතුය. කොම්පෝස්ට් නිෂ්පාදනය වැන්නකට මහා පරිමාණයෙන් යොමු වන්නේ නම් ඒවා භාවිතා කරන්නේ කුමන ලෙසටද යන්නද සැලකිල්ලට ගත යුතුය. එසේ නොකළ හොත් වනුයේ ටොන් දහස් ගණනක කොම්පෝස්ට් කන්දක් තවත් පරිසර ප්‍රශ්නයක් නිර්මාණය කිරීමයි. වගකීම රජය සතුව පවතී
තවද කසළ  කළමනාකරණය සම්බන්ධන්යෙන් පවත්නා නීති බලාත්මක කිරීමද ඉතාම අවශ්‍යය. උදාහරණයක් ලෙස අන්තරායකර අපද්‍රව්‍ය (Hazardous  waste ) නිසි ක්‍රමවේදයකට අනුව පමණක් බැහැර කල යුතු බවට නීති ඇත. ලංකාව තුල එසේ බැහැර කල යුතු ද්‍රව්‍ය මධ්‍යම පරිසර අධිකාරිය (CEA ) මගින් ගැසට් කර ඇත (Schedule  VIII ) ඒවා බැහැරලන ආකාරය සම්බන්ධයෙන් උපදෙස් දී ඇත ( Link of schedule waste management guideline published by CEA  ) නමුත් මෙම නීති නිසි පරිදි ක්‍රියාවට නැංවී නැත. එම නිසා බොහෝ අය  (විශේෂයෙන් ව්‍යාපාරික ආයතන ) ඉතා පහසුවෙන් අන්තරායකර අපද්‍රව්‍ය නාගරික කුණු ගොඩටම විසි කර දමා සිය වගකීමෙන් මිදී අත  පිහදා ගනිති. මේ මගින් අත්  වන දරුණුම විපාකය නම් අන්තරායකර අපද්‍රව්‍ය සමග මිශ්‍ර වූ අනෙකුත් කසළ ද නිසි පරිදි බැහැර කල නොහැකි වීමයි. උදාහරණයක් ලෙස වාහන සෝදන ස්ථානයකින් ඉවට දමන තෙල් මන්ඩි  හා මිශ්‍ර වූ කසළ  මගින් කොම්පෝස්ට් තැනුවද එය පොහොර ලෙස යොදා ගැනීම අසීරුය. එබැවින් අන්තරායකර අපද්‍රව්‍ය බැහැරලීම නිසි ක්‍රමවේදයන්ට අනුව කිරීම අනිවාර්ය වේ. මේ සඳහා පවත්නා නීති බලාත්මක කල යුතු අතර ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන රජය මගින් සැකසිය යුතුය. මට හැඟෙන ආකාරයට මෙය බලාත්මක කිරීමට යොදා ගත හැකි හොඳම ආයතනය පොලීසියයි. ඔවුනට නිසි දැනුමක් හා පුහුණුවක් ලබා දීම පමණක් සෑහේ.

වසාන වශයෙන් හා වඩා වැදගම  දෙය ලෙස, කසළ  කලමනකරනේයේ වැදගත්කම, කරමවේද යනාදිය කුඩා දරුවන්ට පාසල් කාලයේදීම ඉතා ගැඹුරින් ඉගැන්විය යුතුය. මෙයද රජය සතු වගකීමකි. 


Sunday, January 29, 2017

උපාධි ලබා දීම සහ ලබා ගැනීම

උපාධි ලබා දීම සහ ලබා ගැනීම 
මානව ශිෂ්ටාචාරය ක්‍රම ක්‍රමයෙන් දියුණු වීමත් සමග ඔවුන් විවිධ දැනුම සොයා ගන්නා  ලදී. මුලින් ගුරු ගෝල පරම්පරා අනුව ඉදිරියට ආ මෙමෙ දැනුම් සම්භාරයන් පසුව පාසල් සහ විශ්ව විද්‍යාල මගින් ව්‍යාප්ත වීම සිදු විය. නුතන යුගය තුල මෙමෙ ක්‍රියාවලිය වඩාත් ක්‍රමානුකුල අයුරින් සිදුකිරීම සඳහා අවශ්‍ය සම්මතයන් (Standards) ඇතිකරගෙන තිබේ. විශ්වවිද්‍යාල වර්ගීකරණය (rank)  වන්නේ  ඔවුන් මෙමෙ සම්මතයන් කොතරම් දුරට අනුගමනය කරනවාද යන්න මතය.
උපාධියක යනු යමකු යම්කිසි විෂය දැනුමක් සමාජය පිළිගෙන ඇති ප්‍රශස්ත මට්ටමක් ඉක්මවා භාවිතා කිරීමට දන්නා බවට කරනු ලබන පිළිගැනීමකි.

උපාධියක් ලබා දීමට සහ ලබා ගැනීමට යම් සුදුසුකම් ප්‍රමාණයක් සම්පුර්ණ විය යුතුය
01.උපාධිය ලබා දෙන පුද්ගලයා /හෝ කණ්ඩායම අදාළ විෂය ඉගැන්වීම හා උපාධි ලබා දීම සඳහා පිළිගත් අය විය යුතු අතර ඔවූන් සම්මත ක්‍රමවේද අනුගමනය කරමින් උපාධි ලබා දීමට අවශ්‍ය භවුතික සම්පත් සම්පාදනය කරගෙන තිබිය යුතුය.
02. උපාධිය ලබා ගන්න පුද්ගලයා අදාළ විෂය, සම්මත කාල සීමාවක් ඉක්මවා, අවශ්‍ය අවම පහසුකම් ඉක්මවූ විශ්වවිද්‍යාලයක් තුල, සම්මත අවශ්‍යතා වලින් ඔබ්බටට යනසේ  ප්‍රගුණ කල යුතුය.
03. උපාධිය ලබා ගන්නා  පුද්ගලයා අදාළ විෂය දැණුම  සම්මත තත්වයන් අභිබවා ප්‍රගුණ කර ඇති බව පරීක්ෂණයක් මගින් තහවුරු කල යුතුය (න්‍යායික හා ප්‍රයෝගික)

උක්ත සඳහන්  අංක එක සහ දෙක සුදුසුකම් උපාධි ලබා දෙන ආයතන සඳහා අදාළ අතර ආයතන එම සුදුසුකම් සපුරන බව පිළිගත හැක්කේ අදාළ විෂය සම්භන්ද ප්‍රවීනයන්ට හා වුර්තිය ප්‍රවීනයන්ට පමණි. (විෂය ප්‍රවීණයා (subject  expert )  හා වුර්තිය ප්‍රවීනයා  (expert professional)  යනු දෙදෙනෙකි) එබැවින් අදාළ පාර්ශවයන් වෙතින් අංක එක හා දෙක යන සුදුසුකම් සපුරා නොගන්නා ආයතනය උපාධි ලබා දීම සඳහා අත ගැසීමම වැරැද්දකි.  එම සුදුසුකම් සපුරා ඇති බවට නිර්දේශ දේශපාලකයන්ට අවශ්‍ය පරිදි හෝ රාජ්‍ය නිලධාරීන්ට අවශ්‍ය වූ පරිදි හෝ, නීතියට අවශ්‍ය වූ පරිදි හෝ දෙවියන්ට අවශ්‍ය වූ පරිදි දිය  නොහැක. මන්ද එය විෂයානුබද්ධ කාරණා සම්පුර්ණ කිරීමකි. තර්කනයට ගෝචර වන්නේ ඉතාම අල්ප වශයෙනි. කළු සහ සුදු මෙන් පැහැදිලිව මේවා ඔප්පු කල හැක.

උපාධියක් ලබා ගැනීමට නම්, යමකු ඉහත පළමු හා දෙවන අවශ්‍යතා සම්පුර්ණ කරණ ආයතනයක් මුලින්ම සොයා ගත යුතුය. ඇතුල්වීමේ අවම සුදුසුකම වැදගත් වන්නේ මෙහිදීය. අවම සුදුසුකම් තීරණය කරන්නේ විෂය ප්‍රවීනයන්  වන අතර එසේ කරන්නේ සිසුන්ට විෂය ඉගෙන ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සහිත බව තහවුරු කර ගැනීමටයි. මෙය විෂයානුබද්ධ දැනුමට පමණක් සිමා නොවේ. උදාහරණ ලෙස  දක්ෂ උවද අන්ධ සිසුවෙකු ශ්‍යල්ය වයිද්‍ය වරයෙකු වීමට අවශ්‍ය සුදුසුකම් සම්පුර්ණ නොකරයි.
ලංකාව වැනි රටවල නිදහස් අධ්‍යාපනය තුල සීමිත අවස්ථා ඇති බැවින් ඇතුල්වීමේ අවම සුදුසුකම වෙනත අරමුණු වලින්ද භාවිතා වේ. එනම අවම සුදුසුකම ඉහලට ගෙන ඇතුල්වීම සිමා කිරීමට.

එසේ විශ්ව විද්‍යාලයට ඇතුල්වන සිසුවා අංක දෙක සහ තුන යන අවශ්‍යතා සම්පුර්ණ කිරීම මගින් උපාධියක් ලබා ගනියි. එසේ සම්පුර්ණ නොකරන අයට  උපාධි ලබා නොදීම ආයතනය හා විෂය ප්‍රවීනයන් සතු වගකීමකි. මෙය මෙරට රජයේ විශ්වවිද්‍යාල මගින් නිවැරදිව සිදුවේ. නමුත් පුද්ගලික අංශයට  ආ කල මෙහිදී අරමුණු ඝට්ටනයක් ඇති වේ. පුද්ගලික ආයතන යැපෙන්නෙ  සිසුන්ගේ මුදලිනි. සිසුන් පැමිණෙන්නේ උපාධි ලබා දෙනවා නම් පමණි.
උපාධි නැත්තන් සිසුන් නැත >> සිසුන් නැත්තන් මුදල් නැත >> මුදල් නැත්තන් ආයතනය පවතින්නේ නැත.

එබැවින් ඇතුල් කරගන්නා සැවොම උපාධි ලබා ගැනීමට තරම් දක්ෂයන් බව පුද්ගලික ආයතන මුලින්ම තහවුරු කර ගත යුතුය. මගේ මතයේ හැටියට මෙය රජයේ විශ්ව විද්‍යාල වලට සිසුන් බඳවා ගන්නවාටත්  වඩා අසීරු ක්‍රියාවලියකි. (ඔවුන් එසේ නොකරන බව මම ප්‍රත්‍යක්ෂයෙන් දනිමි )

උපාධියක ලද පමණින් යමකු අදාළ වුර්තිය තුල කටයුතු කිරීමට සුදුසුකම් නොලබයි (ලංකව  තුල තත්වය මෙය නොවුවත් නිවැරදි ආකාරය එසේ වේ ) එසේ කටයුතු කිරීමට නම් උපාධි ධාරියා අදාළ වුර්තිය ප්‍රගුණ කරන අයවලුන්ගෙන් බිහි වූ සභාවක  (body ) සාමාජිකත්වය ගත යුතුය. මෙයට ප්‍රධාන හේතු දෙකක් ඇත

01. උපාධි ධාරියා වුර්තිය ගරුත්වයන්, සම්ප්‍රදායන් හා නීති අනුගමනය කරන බව තහවුරු කර ගැනීම
02. උපාධි ධාරිය දිනෙන් දින නවීකරණය (update ) වන දැනුම ලබා ගන්නා බව තහවුරු කර ගැනීම (continuous professional  development )

කලා උපාධි වැනි දේ වලට මෙය එතරම් වැදගත් නොවුවත් වයිද්‍ය  හා ඉංජිනේරු වැනි වුර්තින් සදහා මෙය අත්‍යවශ්‍ය වනුයේ ඒවා මිනිස් ජිවිත වල පැවැත්මට  කෙලින්ම බලපාන බැවිනි. නමුත් ලංකාව තුල තවමන්ත් නීතිමය වශයෙන් මෙසේ වුර්තිය සභාවක්  හරහා පාලනය වන්නේ වයිද්‍ය  වුර්තිය පමණි. ඒ එම වුර්තිකයෙකුට වන වැරද්දක් ක්ෂණිකව බරපතල ප්‍රතිවිපාක ඇති කරන නිසා විය යුතුය.

රට තුල කටයුතු කිරීමට විදේශීය උපාධි ධාරියෙකුට භාධාවක් නැත. එහෙත් උක්ත ලෙස රට තුල ඇති  වුර්තිකයන්ගේ සභාව මගින ඔහුගේ සාමාජිකත්වය පිළිගත යුතුය. එසේ සාමාජිකත්වය ලබාදීමේදී ඔවුන් උපාධියේ තත්වය, උක්ත ලබාගැනීමේ නිර්ණායකයන්ට එරෙහිව පරික්ෂා කරන අතර ඇතැම් සභාවන්   ඔවුන්ගේම පරීක්ෂණ පවත්වති (උදා- ලංකාවේ වයිද්‍ය සභාව මගින පවත්වන පරීක්ෂණය )

මා SAITAM  වැනි ලංකාව තුල පවතින බොහෝ පුගලික උපාධි ප්‍රධානය කරන ආයතන වලට විරුද්ධ වන්නේ ඔවුන් ඉහත සඳහන් ක්‍රමවේදයෙන් බාහිරව  බලහත්කාරයෙන් උපාධි ලබා ගැනීමට හා වුර්තිකයන් ලෙස කටයුතු කිරීමට අර අඳින නිසාය.
ඕනෑම අයකුට උපාධි ලබා දීමට හා ලබා ගැනීමට හැක. නමුත් ඒ පිළිගත් ක්‍රමවේදය අනුගමනය කිරීම මගින් පමණි. නීති තර්ක වලින් උපාධි ධාරීන්  හෝ වුර්තිකයන් බිහි නොවේ. ඒ දෙකම සමාජ පිළිගැනීම  මහින් ලැබෙන තත්වයන්ය.
ඔබ ශිෂයෙකු නම් උපාධියක් ලබා ගැනීමට  ආයතනයක් තෝරා ගැනීමට පෙර එය අවශ්‍ය මුලික සුදුසුකම් සපුරා ඇති අයතනයක්ද  යන්න සොයා බලන්න.දෙන්නං  කාසි වලට කතා කරන ආයතන වලට නොයන්න.මන්ද ඔබ අමාරුවේ වැටෙනවා සත්තයි.
එමන්ම උපාධි ප්‍රධානය සඳහා අවශ්‍ය මුලික සුදුසුකම් සපුරා නැති ආයතන වලට සිසුන් බඳවා ගැනීමට අවසර නොදීමේ වගකීම පැවරෙන්නේ රජයටයි. ඔවුන්ට ඇති වගකීම සිසුන් බඳවා ගැනීමට ඉඩ නොදීම මිසක් ආයතනයට අවශ්‍ය සුදුසුකම් ව්‍යාජ ලෙස සපුරා දීම හෝ, දෙන්නං  කාසි  වලට සිසුන් බඳවා ගැනීමට අවසර දීම නොවේ.
ආයතන වලට අවසර දීම විෂය ප්‍රවීනයන්ගේ හා වුර්තිය ප්‍රවීනයන්ගේ කාර්යක් වන අතර ආයතනය  අවසර ලබා ගන්නා තෙක් සිසුන බඳවා ගැනීමට ඉඩ නොදීම රජයේ කාර්යයි.
රජය එම වගකීම අකුරට ඉටු කළහොත් අද ඇති SAITAM  ප්‍රශ්නය වැනි ඒවා ඇති නොවේ !